හැඳින්වීම

වර්ෂ 1944 රාජ මන්ත්‍රණ සභාවෙන් සම්මත වූ පරිවාස ආඥාපනත මගින් වරදකරුවන් පරිවාස භාරයට ගැනීම ආරම්භ කරන ලදි. එමගින් අපේක්ෂා කරන ලද්දේ නීත්‍යානුකූල වරදක් කරන ලද පුද්ගලයන් බන්ධනාගාරගත නොකර පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් කර පුනරුත්ථාපනය කිරීමයි. ඒ අනුව වර්ෂ 1944 සිට පරිවාස සේවාව ආරම්භ වූ අතර මෙම ආඥාපනත යටතේ එම සේවාව පවත්වාගෙන යාම සඳහා පරිවාස නිලධාරී තනතුර ආරම්භ කර නිලධාරීන් බඳවා ගන්නා ලදි. ඊට පෙර 1942 දී අනත්දරු නිවාස ආඥාපනත සම්මත කරන ලද අතර එමඟින් අනාථ සහ අත්හල දරුවන් අනාථ නිවාස වලට ඇතුලත් කිරීම නීත්‍යානුකූලව සිදුකිරීම ආරම්භ කරන ලදි. එම වර්ෂයේම කුලවැද්දුම් ආඥා පනත සම්මත කර ඒ තුලින් දරුවන් නීත්‍යානුකූලව හදාවඩා ගැනීමට දීම ද ආරම්භ විය. වර්ෂ 1939 දී සම්මත කරන ලද ළමයින් සහ යෞවනයන් පිළිබඳ ආඥාපනත මඟින් ළමා රැඳවුම් නිවාස සහ වරද කරන ලබන දරුවන් නේවාසිකව පුනරුත්ථාපනය කිරීම සඳහා සහතික කල පාසල් ද පිහිටුවන ලදි.

මෙලෙස දරුවන්ගේ සුබසාධනය සඳහා සහ වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා නීත්‍යානුකූලව ආරම්භ වූ මෙම සේවාවන් එකල විවිධ රාජ්‍ය ආයතන හරහා ක්‍රියත්මක විය. 1956 ඔක්තෝම්බර් 01 වන දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව, මෙම ළමාරක්ෂක සේවාව සහ වරදකරුවන් පුනරුත්ථාපනය කිරීමේ සේවාව ඒකාබද්ධ කර මුළු දිවයිනටම එක් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරයෙක් පත් කර ඔහු යටතේ මෙම සේවාවන් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව, පරිවාස නිලධාරීන් ද මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලදි. ඉන්පසු අධිකරණ කලාප අනුව සහකාර කොමසාරිස් කාර්යාල පිහිටුවා අධිකරණ කොට්ඨාශ කිහිපයකට අදාලව පරිවාස කාර්යාල පිහිටුවමින් පරිවාස හා ළමාරක්ෂක සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස ආරම්භ විය. අධිකරණ මඟින් යොමුවන වරදකරුවන් පුනරුත්ථාපනය කිරීමේ සේවාවන් වරදකරුවන් සම්බන්ධව අධිකරණ වලට වාර්තා සැපයීමත් ළමයින් සහ යෞවනයන් පිළිබඳ ආඥාපනත යටතේ අධිකරණ වලට වාර්තා සැපයීමත් අනත්දරු නිවාස ආඥාපනත යටතේ අනාථ අත්හල දරුවන් හඳුනාගැනිම අසරණ දරුවන් හඳුනගැනීම සම්බන්ධවත් අනත්දරු නිවාස ලියාපදිංචිය සහ අධීක්ෂණය යන කටයුතු පරිවාස නිලධාරි මඟින් ඉටුකර ගන්නා ලදි. තව ද 1956 දී ළමා රැඳවුම් නිවාස සහ සහතික කල පාසල් ද පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට භාරදෙන ලදි. එසේම රජය මඟින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන ළමා නිවාස ද ආරම්භ කරන ලදි.

මෙලෙස දීපව්‍යාප්තව එක් කොමසාරිස්වරයෙක් යටතේ ක්‍රියාත්මක වූ පරිවාස හා ළමාරක්ෂක සේවාව 1987 පටන් ක්‍රියාත්මක වූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා විෂයක් වශයෙන් සම්පූර්ණයෙන්ම විමධ්‍යගත කරන ලදි. ඒ අනුව, 1990 ජනවාරි 01 දින සිට බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පිහිටුවන ලදි. ඒනිසා මෙතෙක් බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වූ ස්වේච්ඡා අනත්දරු නිවාස ද පරිවාස කාර්යාල ද රැඳවුම් නිවාස, සහතික කල පාසල් සහ රජයේ ළමා නිවාස බස්නාහිර පළාත් සභාවට පවරන ලදි. එලෙස ස්වෙච්ඡා අනත්දරු නිවාස 50 – 60 ක් අතර සංඛ්‍යාවක් ද බාලක සහ බාලිකා වශයෙන් සහතික කල පාසල් දෙකක් ද බාලක බාලිකා වශයෙන් රැඳවුම් නිවාස දෙකක් ද රජයේ භාර ගැනීමේ ළමා නිවාස දෙකක් ද පරිවාස කාර්යාල 12 ක් ද බස්නාහිර පළාතට පවරන ලදි. එදින සිට බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවාව ආරම්භ විය.

පළාත් සභා විෂයක් වශයෙන් ආරම්භ වූ පරිවාස හා ළමාරක්ෂක සේවාව ක්‍රියත්මක කිරීමට පළාත් පරිවාස කොමසාරිස්වරයෙක් පත් කර දෙපාර්තමේන්තුවක් ද පිහිටුවන ලද අතර එම විෂය සඳහා පළාත් ඇමතිවරයෙක් ද පත්විය. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සඳහා ස්ථීර ගොඩනැඟිල්ලක් නොතිබුන අතර වරින්වර කුලී පදනමට ලබාගත් ස්ථාන වල දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන ලදි. වර්ෂ 2004 දී පමණ බත්තරමුල්ල, කොස්වත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පළාත් සභා ගොඩනැඟිල්ලේ බිම් මහලට මෙම දෙපාර්තමේන්තුව ගෙන එන ලදි. එම වර්ෂයේ සිට 2018 ජූනි මස දක්වා දෙපාර්තමේන්තුව පරණ පළාත් සභා ගොඩනැඟිල්ලේ පවත්වා ගෙන ගිය අතර 2018 ජූනි මස සිට නව පළාත් සභා ගොඩනැඟිල්ලේ 8වන මහලේ මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලදි.1990 සිට 2019 දක්වා මෙම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරු 13 දෙනෙකු පමණ සිටියහ. මෙම දෙපාර්තමේන්තුව යටතේ පවත්වා ගෙන යන සහතික කල පාසල් දෙක සහ රැඳවුම් නිවාස දෙක මාකොළ සහ රම්මුතුගල ග්‍රාමයන් වල ද රජයේ භාර ගැනීමේ ළමා සංවර්ධන මධ්‍යස්ථානය පානදුර නගර මධ්‍යයේ ද රජයේ ඉඩම් වල පවත්වාගෙන යනු ලැබේ. දෙහිවල බෙල්ලන්තර ප්‍රදේශයේ පිහිටා තිබු අනෙක් රජයේ භාර ගැනීමේ මධ්‍යස්ථානයේ භුමිය සහ ගොඩනැඟිල්ල පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තු වෙත පවරා ගන්නා ලදි. බස්නාහිර පළාත තුල අධිකරණ කොට්ඨාශ මට්ටමෙන් පරිවාස කාර්යාල 12 ක් පවත්වාගෙන යන අතර ඉන් 6 ක් රජය සතු ඉඩම් සහ ගොඩනැඟිලි වල ද 4 ක් කුලියට ලබා ගත් ගොඩනැඟිලි වලද 2 ක් අධිකරණ ගොඩනැඟිලි වල ද පිහිටා ඇත. මෙම දෙපාර්තමේන්තුව යටතේ පරිවාස නිලධාරීන් ද ආයතන පහ තුල නිලධාරීන් හා සේවක පිරිස ද ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් සහ සේවකයින් ද ඇතුළුව සේවක සංඛ්‍යාව 300ක් පමණ වේ. ළමා නිවාස 120 ක් ආරම්භයේ දී ස්වෙච්ඡා අනත්දරු නිවාස 50 – 60 ත් අතර තිබුන ද එම අනත්දරු ආඥාපනත 2008 වර්ෂයේ දී අනුලකූල කරමින් ළමා සංවර්ධන මධ්‍යස්ථාන පිළිබඳ ප්‍රඥාප්තිය පළාත් සභා මඟින් සම්මත කර ගන්නා ලදි. එම ප්‍රඥප්තිය යටතේ එතෙක් අනත්දරු නිවාස වශයෙන් තිබු ආයතන ළමා සංවර්ධන මධ්‍යස්ථාන වශයෙන් හඳුන්වාදුන් අතර මෙම ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 120 ක් දැනට ක්‍රියාත්මක වේ. මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල දරුවන් 3000 – 3500 ත් අතර සංඛ්‍යාවක් දෛනිකව සිටියි. ඊට අමතරව රජයේ ආයතන පහේ දෛනිකව දරුවන් 120ක් පමණ නේවාසිකව සිටියි. ඊට අමතරව ස්වෙච්ඡා ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන 35 ක් ද මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව ඇත. තවද ස්වෙච්ඡා බාලිකා රැඳවුම් නිවාස තුනක් ද ක්‍රියාත්මක වේ. මෙම දෙපාර්තමේන්තුවටම සුවිශේෂ වූ චක්‍රලේඛ සහ ස්ථාවර නියෝග 1956 සිට පැවති අතර 2009 වර්ෂයේ සිට එම පැරණි චක්‍රලේඛ වෙනුවට මෙම පළාත් දෙපාර්තමේන්තුව මඟින් නව චක්‍රලේඛ හදුන්වාදෙන ලද අතර කාලීන අවශ්‍යතාවන් අනුව එම චක්‍රලේඛ වල අන්තර්ගතය පුළුල් කරන ලද අතර නව චක්‍රලේඛ ද හඳුන්වාදෙන ලදි.